Exclusive discounts on astrology services today!

බෝධි පූජාව

නිවැරදි බෝධි පූජාව පැවැත්වීමේ විධි ක්‍රමය

SPECIAL

11/12/2025

නිවැරදි බෝධි පූජාව පැවැත්වීමේ විධි ක්‍රමය

බෝධි පූජාව පවත්වන පිරිස පිරිසිදුව සුදු වතින් සැරසී පන්සල වෙත යා යුතුය. සිත, කය, වචනය සංවර කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබදව අපරිමිත වූ භක්තිය විශ්වාසය මත බුද්ධ පූජාව අවසන් කරන්න.

බුද්ධ පූජාව සදහා අවශ්‍ය ද්‍රව්‍ය

සුදු මල්, පාට මල්, සුවද මල්

පහන් දැල්වීමට අවශ්‍ය පොල්තෙල්, පහන්තිර

හදුන්කූරු

දැහැත්

ගිලන්පස

ඖෂධ

පහන් සහ හදුන්කූරු දැල්වීම සදහා ස්ථානයක් පවතී නම් ඒ ස්ථානයේ ඒවා රදවා තබා ඉන් පසු චෛත්‍යය, බෝධිය, විහාරය යන පූජනීය ස්ථානයන්හී තැන්පත් කිරීම සදහා මල්, දැහැත්, ගිලන්පස, ඖෂධ තබා තැටි තුනක් පිළියෙල කර පූජා කරන්න.

බෝධි පූජාව සදහා සූදානම් වීම

01. බෝධිය වටා හා බෝමළුව පුරා සුවද පැන් ඉසින්න.

02. බෝධි මණ්ඩපයේ සතර කොන්වල පුන්කලස් 4 (පොල් මල් කිනිති හා සුවද පැන් දමා) තබා ඒවා මත සතර වරම් දෙවියන් උදෙසා ගිතෙල් පහන් හතරක් දල්වන්න. (සුවද කූරු සහිතව)

03. ඉන්පසු බෝමළුවේ බිම එක පෙළට තරමක් ලොකු රවුම් තුනක් ඇද ඒවා බුලත් කොළ 7 බැගින් හා පඩුරු 7 බැගින් නෙළුම් මලේ හැඩයට තබන්න.

04. ඊලගට බුලත් තැන්පත් කළ මැද රවුමේ බෝධි රාජයාණන් උදෙසා පොල්තෙල් පහන් 7 ක් ද, දකුණු පස රවුමේ මහා දේව මණ්ඩලය උදෙසා ගිතෙල් පහන් 7 ක් ද, වම් රවුමේ නවග්‍රහ මණ්ඩලය උදෙසා අබතෙල් පහන් 9 ක් ද දල්වන්න.

05. ඉන් පසු පිළියෙල කරගත් සුදුවැලි වට්ටිය හිස තබාගෙන බෝධිය වටා තුන්වරක් පැදකුණු කරමින් බෝමළුවේ ඉසින්න.

06. ඊලගට සුවද පැන් කළ හත එකින් එක හිස තබාගෙන තුන්වරක් බෝධිය පැදකුණු කර බෝධි රාජයාණන් වහන්සේ නාවන්න.

07. ඉන්පසු සුදුමල් මාලා සහිත කොඩි වැල බෝධියට පළදවන්න.

08. නෙළුම් මල් හත බෝධියට පූජා කරන්න.

09. දැන් බෝමළුව සැම තැනත් පහන් දැල්වූ බුලත් මතත් සුදු, කහ, නිල්, රතු යනාදී නව විධ මල් වර්ග තැන්පත් කරන්න.

10. ඒ ඒ තැන්වල කපුරු පෙති, හදුන්කූරු දල්වා අගුරු කබලකට සුවද දුම්කුඩු (සාම්බ්‍රානි ආදිය සහිත) දමා සැම තැනම දුම් අල්ලන්න.

ඉහත දක්වන ලද බෝධි පූජාව සදහා සූදානම් වීම යන කොටස අති පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් රචිත බෝධි පූජා පොතෙන් උපුටා ගන්නා ලදී.

ඉහත දැක්වෙන ආකාරයෙන් බෝධි පූජාවක් තැබීමට අපෙහොසත් වන්නේ නම්, අඩුම වශයෙන් බෝධි පූජා ද්‍රව්‍ය සූදානම් කර ගැනීමේදී නවග්‍රයින්ගෙන් තිබෙන්නා වූ ඒරාෂ්ටක අපලයන්හීදී නා, නුග පත්‍ර ආදී වශයෙන් ග්‍රහ අපලයට අදාලව පහන් 09 ක් වත් බෝධිය අසල දැල්වීමට කටයුතු කරන්න.

පසුව "බෝධි" යනු ජීවමාන බුදුරජාණන් වහන්සේටම යන අදහස සිතින් සිතාගෙන මහත් ගෞරවාදරයෙන් යුතුව පහසු ඉරියව්වකින් බෝධිය අබියස වාඩිවී බෝධි පූජාව ආරම්භ කරන්න.

වන්දනා කිරීම

01. නමස්කාරය

02. තෙරුවන් සරණ යාම

03. පන්සිල් සමාදන් වීම

04. බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ සිහිකිරීම හා සරණයාම

05. පූජා ද්‍රව්‍ය පූජා කරීමේ ගථා කීම

06. බෝධි වන්දනා කවි ගායනා කිරීම

07. නවග්‍රහ ශාන්ති කවි ගායනා කිරීම

08. තෙරුවන් ක්ෂමා කරවා ගැනීම සහ ප්‍රාර්ථනාව

09. කරණීය මෙත්ත සූත්‍රය, ඇණවුම් පිරිත, රතන සූත්‍රය, අටවිසි පිරිත, දස දිසා පිරිත වැනි සෙත් පිරිත් සජ්ඣායනා කොට දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.

සැ. යු. - සෙත්කවියක් කියවීමට ඇත්නම් බෝධි පූජාව අවසානයේදී දෙවියන්ට පිං දීම වෙනුවට සෙත් කවි කියවීම අවසානයේදී දෙවියන්ට පිං අනුමෝදන් කිරීමට මතක තබා ගන්න.

තෙරුවන් සරණයි!

ලිපි සැකැස්ම....

කේ. ඩී‍‍. නිරෝසී ප්‍රභාෂිණී

සෙත්කවි ශාස්ත්‍ර විශාරද

ජ්‍යොතිෂ ශිරෝමනී උපාධිදාරී

ජ්‍යොතිෂ ජගිත්‍රී ජාත්‍යන්තර

ජ්‍යොතිෂ ප්‍රභාෂ්වර

ජ්‍යොතිෂ භාෂ්කර් ඉන්දීය

මුළු දිවයිනටම සාම විනිසුරු