Exclusive discounts on astrology services today!

ගැබිණියක් පිළිපැදියයුතු අන්දම

ගැබිණියන් විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත්, ගති පැවතුම්, අහාර රටා සහ ගැබිණියකට පත්‍ය අපත්‍ය වන්නා වූ දේ පිළිබද අවබෝධය පිණිසයි.

AYURVEDA

11/19/2025

ගැබිණියක් පිළිපැදියයුතු අන්දම

ගැබිණි තොමෝ පළමුවන දිනයෙහි සිට නිතර සතුටු සිත් ඇත්තී පිරිසිදු වූවා - සුදු පිළියෙන් සැරසුණි, සෙත් කිරීමය, මංගල වචනය, පින් කිරීමය, යන මෙහි තත්පර විය යුතුය. කිලිටු දෑ ද - විකාර වූත් හීණ වූ ත් ගාත්‍ර ඇත්ත වුන්ද නො බලන්නේය, සපර්ශ නො කරන්නේය. දුගද දෑද - අයහපත් දර්ශනයන් ද දුරු කටයුතුය. කල කිරිය යුතු වූ - වේග ඉපදවිය යුතු වූ කථා නො ඇසිය යුතුය. වියලුණා වූ ද පිළිණි වූ ද කුණු වූ ද තෙත් වූ ද ආහාර නො වැලදිය යුතුය.

බැහැර නික්ම යාම ද - ජන විවික්තස්ථානය - දෙවතාධිෂ්ඨිත වෘක්ෂ - සොහොන් බිම් - වෘක්ෂ යන ස්ථානද, ක්‍රෝධ - භය දෙකින් ආකූල වුවන් ද දුරු කට යුතුය. යම් කාරණයෙකින් ගර්භය විපතට පමුණුවන්නේ ද ඒ ද දුරු කට යුතුය. උස් ලෙස කථා නො කට යුතුය.

නිතර ඇග තෙල් ගැල්ලීම ද ඇග ඉලීම් ආදිය ද නො කට යුතුය. ශරීරය නො වෙහෙසිය යුතුය. දවල් නිදීම දුරුකට යුතුය. නිදන සයනය සැප පහසු ලෙස වඩා උස් නො වන සේ පිළියෙළ කර ගත යුතුය.

හෘදයට හිත වූ සිතට ප්‍රිය මිහිරි රස අධික වූ සිනිදු අගති දීපනයට හිත වූ දෙයින් පිළියෙළ කළ අහාරය ප්‍රීතියෙන් අනුභව කළ යුතුය.

මේ සියල්ල ප්‍රසූතිය දක්වා කටයුතුය. අධික මෛථුනයද - සත්වන මස අග කොටසේ සහ අට වැනි මස්හි සම්පූර්ණයෙන් මෛථුනය ද තහනම්ය.

විශේෂයෙන් ගැබිණි තොමෝ පළමුවන දෙවන තුන්වන මාස්හි මිහිරි සිසිල් ද්‍රව බහුල වූ ආහාර ය ගත යුත්තීය.

තුන්වන මසෙහි සැට දා ඇල්සාලේ බත කිරි හා සමග ගැනීම මැනවි.

සතර වන මසෙහි එය දී හා සමග ද

තව ද සිව්වන මසෙහි කිරි - වෙඩරු ද - විරුද්ධ නො වූ ගොඩ මස ද යෝග්‍ය යයි කියනු ලැබේ.

පස්වන මසෙහි ගිතෙල් සමග ද ගැනීම යෝග්‍ය යයි කියනු ලැබේ.

කිරි ගිතෙල් යෝග්‍ය ය.

සවන මස්හි ගොකටු කසායෙන් සිද්ධ කළ කැද ගිතෙල් සමග පානය යෝග්‍ය ය.

සත්වැනි මසෙහි පොල්පලායෙන් සිද්ධ කළ කැද ගිතෙල් සමග බීම යෝග්‍ය ය.

අටවැනි මසෙහි මසන්, බැබිල මුල්, මහ බැබිල මුල්, ශත පුෂ්ප, තල යන මෙයින් සිද්ධ කළ කසායට දී කිරි, තල තෙල්, සහිද ලුණු, කුකුරුමුවන් ඵල, මී පැණි, ගිතෙල් බහා අනුලෝමන වස්තිය යෙදීමට නියම කර තිබේ.

මීට පසු යවාගුයෙන් ද - මස් රසයෙන් ද ප්‍රසූති කාලය දක්වා පිළියම් යොදන්නේය.

ගැබිණියන්ට ආහාර

ගැබ් ගත් කාලයෙහි හොදට දිරවන සැහැල්ලු වූ පෝෂ්‍යදායක ආහාර ගත යුතුය. එසේම ප්‍රමාණයට වඩා ආහාර නො ගත යුතුය. එසේම නියම වේලාවට පමණක් ආහාර ගත යුතුය. අනියම් වේලාවල ආහාර නොගත යුතුය. විශේෂයෙන් තේ, කෝපි ද අඩුවෙන්, කිරි සමග ගත යුතුය. කෝලිකුට්ටු, සුවදෙල්, ඇපල්, මී අඹ, යාපනේ අඹ, පේර ආදී පලතුරු පමණ දැන භාවිත කට යුතුය.

ඇල් සාල්, සැටදා හැල්, පරණ මුත්තුසම්බා, (මුතු මාණික්කම්) ආතකුම්බ අරිසි, ආදි සාල් වර්ග, මුං ඇට, තිරිගු, විලද, වෙඩරු, ගිතෙල්, කිරි, රසාල, මී පැණි, සීනි, පොළොස්, කෙසෙල්, නෙල්ලි, මුද්දිරප්පලම්, ඉදූනු මිහිරි අඹ, ශීතල ද්‍රව්‍ය ආදිය ආහාර වශයෙන් ගැනීමට නියම කර තිබේ.

විෂම භෝජන, ගෝනමස්, ඉත්තෑ මස්, මීවිනි මස් ආදී උෂණ මාංස ද බල මාලු, හුරුල්ලන්, කුම්බලාවන්, කෙළවල්ලන් ආදී මත්‍ස්‍යයන්ගේ මාලු ද අහිතරකය එ සේම ජාඩි, උෂ්ණ කරවල, අච්චාරු ආදිය ද අගුණ දායකය. විශේෂයෙන් මද්‍ය පානය අයෝග්‍ය ය.

සැරසීම්

පිරිසිදු සුදු ඇදුම් ඇදිය යුතුය. එසේම ශරීරයට හිර ව ඇදුම් නො ඇදිය යුතුය. කස්තුරි, සුදු හදුන් මල්, කපුරු අනුලේපනයට නියම කර තිබේ.

තව ද සදරුස් සේවනය, ස්නානය, අභ්‍යංග, කොමල ශෂ්‍යාය සයනය, සිසිල් වායු සේවනය, සන්තම්ණ ක්‍රියා, ප්‍රිය වාක්‍ය කිම හා ඇසීම, මනෝඥ විහරණය, හෘද්‍ය අන්නපාන ගැබිණියනට පථ්‍යයෝ යි.

ගැබිණියනට අපථ්‍ය දේ

ස්වේත කර්මය (උණු ද්‍රව්‍යවලින් තැවීම්), වමනය, ක්ෂාර සේවනය, විවාද, විෂම භෝජන, අසාතම්‍ය සේවන, රෑ නිදිමැරීම, දවල් නිදීම, අප්‍රිය දර්ශන, අතිශය මෛථුන, ව්‍යායාම, බර ඉසිලීම, අතිශය දළ වස්ත්‍ර භාවිතය, රෑ ඇවිදීම, ශෝක කිරීම, ක්‍රෝධ කිරීම, භය, උද්වේග, මල මුත්‍රාදී වේග දැරීම, අභිලාෂ ද්‍රව්‍යයන්ගේ නොලැබීම්, උපවාසය, තීක්ෂණ ද්‍රව්‍ය, උෂ්ණ ද්‍රව්‍ය, ගුරු ද්‍රව්‍ය, විෂ්ටමහි ද්‍රව්‍ය, රෑ නොකෑම, සිදුරු හා ළිං දැකීම, මද්‍ය පානය, මාංස භක්ෂණය, යන මේවා ගැබිණියනට අපථ්‍යය.

කුරක්කන්, එළවලු, පලතුරු බහුලව භාවිතා කරන ප්‍රදේශවල ගැබිණියනට දොළදුක් වමනයක් පවා නොසෑදෙන බව මා විසින් දැක තිබේ.

අටවැනි මාසයෙහි විශේෂයෙන් මෛථුනයෙන් සම්පූර්ණයෙන් වෙන් විය යුතුය.

අටවැනි මසෙහි - දිවුල් පොතු බෙලි මුල් එළබටු මුල් කටුවැල් බටු, දුම්මෑල්ල මුල්, උක් මුල්, කලං 2 බැගින් ගෙන, දිය පත හතක් ද එළ කිරි පතක් ද බහා පතට සිද පානයට දීමෙන් ඒ මාසයෙහි ඇති උවදුරු සමනය වේ.