ගර්භණී ස්වභාවය
සෑම ගර්භණී කාන්තාවක්ම සහ ස්වාමිපුරුෂයන් විසින් කියවිය යුතු වටිනා ලිපියකි.
AYURVEDA
11/16/2025
ගර්භණී ස්වභාවය
පුරුෂ ප්රසංගයෙත් ස්ත්‍රියගේ ගර්භාශයට පැමිණි ශුක්‍ර කීටාණුවක් හා සමග ඇගේ අණඩාධාර ආශයෙන් ගෙත්, අණ්ඩාධාර ප්රණාලියට පැමිණ අණ්ඩාණුවක් සමග සංයෝග වීමෙන් කලල රූපයක් සෑදීම ගර්භයයි කියනු ලැබේ. ඒ සිද්ධ වූ තැනැත්තිය ගර්භණී නම් වේ.
පළමුවන මාසය
බීජද්වයක සංයෝගයෙන් ඇතිවුණු ඒ කලල රූපය අති ක්ෂුද්‍ර තම වුවත් දෙමාපියන්ගේ ශරීරයන්ට අනුව ධාතු ස්වරූප ගති ඇති වෙයි. පළමුවන මස අන්තයේ කලල රූපය අගල් ½ සිට 1 දක්වා දිග ඇති වේ. එහි බාහ්‍ය කලාව තුඩු රාශියෙකින් යුක්ත වේ.
දෙවන මාසය
දෙවන මාසයේ දී කලල රූපය අගල් දෙකක් පමණ වෙයි. වැදීමස සෑදීමට වුවමනා කරණ තුඩු හැර අවශේෂ තුඩු දියව යේ. මේ මාසයේදී ස්ත්‍රී පුරුෂ භාවය පිහිටන බව ඇතැම් ආචාර්ය කෙනෙක් කියත්. මේ මාසය වන විට සෘතු කාලය නැවතුණු බව දැනගත හැකි නිසා ගැබක් පිහිටි බව නිශ්චය කටයුතුයි. ඒ නිසා ගර්භිණියකට සුදුසු ආහාර විහරණාදියෙන් කල දවස ගෙවිය යුතුයි.
දෙවෙනි මසෙහි ගර්භයක් බව දැන ගැනීමට ස්වල්ප ලකුණු පහල වේ. සිරුර වැහැරීම, බඩ බර බව, වමනය, අරුචිය, සුදු කෙළ ගැසීම, ඇඹුල් කැමති බව, පියයුරු පිරීම ආදී ලකුණු බොහෝ දෙනෙකුන්ට ඇති වේ. සෘතු නැවතීම සියලු දෙනාටම ඇති වෙයි.
තුන්වන මාසය
මේ කාලයේ දරුගර්භය අගල් 4 ක් වේ. බර අවුන්ස 3 ½ ක් පමණ වේ. වැදෑමස සම්පූර්ණ වෙයි. නාභිරජ්ජුව ද ඇඹරුණු අයුරු පෙන්වයි. හිස, දෙ අත්, දෙපා යන මොවුහු ප්‍රකට වෙත්. සූක්ෂම යන්ත්‍රයන්ගේ හට ගැනීම, සැප දුක් දෙක්හි දැනීම ආදිය ඇතිවේ යයි කියන ලදී. පෙකණි වැලෙන් ආහාර ලබා ගැනීම මේ කාලයෙහි වේ යයි වාග්භටයෝ කියත්.
සිව්වැනි මාසය
ගර්භය සිවුමසෙහි අංගප්රත්යයන්ගෙන් ප්‍රකට වෙයි. අත් පා හිස පමණක් නොව ඇගිලි නිය කන් නාසාදී සියුම් අවයව ද ඉතා ප්‍රකට වෙයි. හිස් මුල් හා හෘදය ද ප්‍රකට වේ. එසේම ලිංගේන්ද්රියයෝ ද ප්‍රකට වෙත්. සිව්වන මසෙහි ගර්භය සියුම් වශයෙන් චලනය ද වෙයි. ගැබිණිය ද ගිලන් ස්වභාවයක් මේ මාසයෙහි දක්වන්නීය.
පස්වැනි මාසය
සිව්වැනි මාසයට වැඩියෙන් අවයවයෝ ප්‍රකට වෙත්. සිත ද වැඩියක් ප්‍රබෝධ වෙයි. පස්වැනි මාසයේ විශේෂ අවයව කෙනෙකුන්ගේ හට ගැනීමක් නොවෙයි. එහෙත් සිව්වැනි මාසයේ සෑදුණු අවයවම ප්‍රකට වෙයි. හිසකෙස් පැහැදිලි වෙයි. තෙල් ද්‍රව්‍ය ඇති වෙයි.
සයවන මාසය
සයවන මාසයෙහි කලින් දැක්වූ අවයව හොදින් ප්‍රකට වෙයි. ස්ථිර වෙයි. නාඩි, ධමනි, ශිරා ස්නායු, ලෝම, දේහබල, වර්ණය, නිය, සම් යන මොවුන්ගේ වැඩීම වෙයි. ඇසි පිය, ඇස් බැම, ලෝම ද හටගනී. සය වැනි මාසයේදී සියලු අවයව සම්පූර්ණ වෙයි. ගැබිණියගේ කුසය ද බර ස්වභායවක් ඇති වෙයි. ගැබ තුළ අත් පා ගසන්නාක් මෙන් ගැබිණියට දැනීමක් ඇති වෙයි. එහෙත් දරුවා නොහැරී අත් පා හකුලුවා උඩු කුරුවම සිටියි. මේ කාලයේ දරුවා සීඝ්‍රව පොෂ්ය වන්නට පටන් ගනී. එහෙයින් මෑණියන්ගේ ශරීරයට දුර්වල ස්වභාවයක් හා ක්ලාන්ත ගතියක් ඇති වෙයි. තද බල අපථ්‍ය කාරණා නොලැබුණොත් සවෙනි මාසයෙහි සිට දරුවා පතනය නොවේ.
සත්වැනි මාසය
සත්වැනි මාසයෙහි ගර්භය සම්පූර්ණ වෙයි. හස්ත පාද කන් නාසා ඇගිලි නිය ආදී සකල ප්‍රත්‍යංගයන් පෝෂණයව සම්පූර්ණ ව සිටියි. ගර්භය හොදට වැඩීමේදී ඇති වන විෂ මාතෘ ශරීරයේ කැසීම් දැවිලි ආදිය ඇති කරවයි. සත්වැනි මාසයේ දරුවන්ගේ ප්‍රසූතය ද ඇතිවේ. ඇතැම් අය පරිස්සමින් පෝෂ්‍ය කිරීමෙන් ජීවත් වෙත්. එසේ නොකොළොත් ජීවත් නොවේ.
අටවැනි මාසය
අටවැනි මස්හි ගර්භයේ ඔජස ස්ථිර වේ. එම ඔජස ක්‍රම ක්‍රමයෙන් මවු-දරු දෙදෙනා කෙරෙහි ක්ෂණයක් ක්ෂණයක් පාසා මාරුවේ. එක්කෙනෙකුගේ ඔජස එක් කෙනෙකුට ගිය කල ඒ අය දුර්වල වේ. ලැබූ තැනැත්තා සනීප ගතියෙන් සිටියි. මේ මාසයේ උපදින දරුවන් ඔජස මාරුවීම නිසා ජීවත් නොවන බව කියා තිබේ. ඇතැම් විට මවුගේ ජීවිතය ද සැක සහිත අවස්ථාවෙකි. ශරීරයේ සෑම තන්හි තෙල ඇති වේ. මේ මාසය ශරීරය ද විෂවන අවස්ථාව බව සලකා මූත්‍ර පරීක්ෂා කරවා, දොස් සහිත නම් ප්‍රතිකාර කල යූතුයි. මේ මාසයෙහි මෛථුනය සම්පූර්ණයෙන් තහනම්ය.
නවවැනි මාසය
ගැබ්ගෙන, නව වන මස පැමිණි කල දරුවා හැරී හරස් වෙයි. මේ මාසය ළදරුවා, මෙලොව එළිය දකින කාලය බව දැන ඊට වුවමනා සියලු උපකරණ සම්පාදනය කර ගත යුතුයි. නව වැනි මස ගැබිණියන්ගේ ප්රසවය කිරීම වැඩි වශයෙන් පවත්නා කාලයයි. එසේ වුවද දහවන මසෙහි ද ප්රසවය වෙයි. එකොළොස් වන, දොළොස්වන මාස්හි දී දරුවන්ගේ උත්පත්තිය දුකසේ දැකීම ඇතිවේ යයි කියන ලදී.


