Exclusive discounts on astrology services today!

ගර්භණී භාවය

යම් ස්ත්‍රියක් ගැබ් දැරූ කල්හි ඒ හැදින ගැනීමට විශේෂ ලකුණු සමූහයක් විද්‍යාමාන වේ.

AYURVEDA

11/17/2025

ගර්භණී භාවය

යම් ස්ත්‍රියක් ගැබ් දැරූ කල්හි ඒ හැදින ගැනීමට විශේෂ ලකුණු සමූහයක් විද්‍යාමාන වේ.

1. ආර්තව රුධිරය නැවතීම - විවාහ ස්ත්‍රියකගේ යෝග්‍ය කාලයෙහි මාස්වීම නො වුවහොත් ඈ ගැබිණියක් යයි සැකකළ හැකිය. පාණ්ඩුව, ක්ෂයරෝගය, ආදී ශරීර දුර්වල තාවයන් ද කිරි දෙන කාලය ද හැර අන් කලෙක මාස්වීම නැවතීම ගැබ් ගැනීම් බව සැලකීමට කරුණකි.

2. තැලි නැගීම හෙවත් කටට කෙළ ඉනීම - බොහෝ විට ම ගැබ්ගත් කල, කටට කෙළ ඉනීම ඇති වෙයි. එසේ කල්හි ස්වාභාවික ආහාරය කෙරෙහි අරුචිය ද වෙනත් අනියම් ද්‍රව්‍ය කෙරෙහි රුචිය ද ඇති කරයි. කටේ ඇඹුල් රස, පපුවේ දෑම, අජීර්ණය, ශරීරයේ අවසාදය, මද හිසරදය, ඉක්මනින් නාඩි වැටීම, මුහුණේ සුදුමැලි ගතිය හා පිපුම් ගතිය, සමෙහි පලු නැගීම, යන ලකුණු ඇති වේ.

3. සියලු ඉරියව්වලදීම සමානව නාඩි වැටීම - ගැබ්ගත් ස්ත්‍රියකගේ නාඩි පරීක්ෂා කිරීමේදී ඉදින විට ද සයනය කරන විට ද සිටින කල ද සමානව නාඩි වැටෙන බව දැනගත හැකි වෙයි. සාමාන්‍ය ස්ත්‍රියක් සිටින කල නාඩීන්ගේ ගමන ඉතා ඉක්මන්ව ද හිදින කල ඊට වඩා සෙමින් ද වදින්නේය.

4. උදෑසන වමනය - සාමාන්‍යයෙන් ස්ත්‍රියක් ගැබ්ගත් සවෙනි සුමානයේ සිට දෙමසක් පමණ කාලයක් තුළ උදෑසන වමනය ඇති වෙයි. සියයට පනහකට පමණ මේ ඇතිවන බව කියා තිබේ. ගැබිණිය උදෑසන ම වමනය දෙතුන් වරක් කිරීමෙන් පසු අනිත් දින උදය වනතුරු සනීපයෙන් පසු වෙයි. ඇතැම් ගැබිණියනට දවස තිස්සේමත් වමනය ඇතිවෙයි. යම්කිසි ආහාරයක් ආමාශයෙහි රදවා ගත නොහැකි වෙයි. ස්ත්‍රී දුර්වල වෙයි. මේ කාලයේ කල්පනායෙන් ප්‍රතිකාර කළ යුතුය. කොහිල අල, ගොටු දඩු, රතුලූනු, යන මෙයින් සාදන සුප් කෝප්පයක් රෑට දිය යුතුය. එසේම රත්පිත් කසාය යෙදීමෙන් හුගකට සුව වෙයි.

5. ගැබිණියගේ පයෝධර - ගැබ්දැරූ ස්ත්‍රියකගේ දෙවැනි මාසයෙහි සිට පයෝධර මොලොක් සමුපූර්ණ පිරුණු බවක් ඇතිවේ. තන පුඩුවල ඇදුම් දෙන ගතියක් හා පයෝධර මතුපිට නිල් නහර ඉල්පී පිරුණු බවක් පෙනේ. තන පුඩු පිරී නියම වර්ණයට වඩා කලුවන් පැහැයක් ගෙන දේ. එහි වටේ ගඩු විශේෂයක් හා පුල්ලි ද හටගනී. කුලුදුල් ස්ත්‍රීනට කිරි එරීම යහපත් ලකුණෙකි.

ගැබ්ගත් ස්ත්‍රීන්ගේ සෘතු ලෙය වහනයවන ශ්‍රොතස් මාර්ග වැසෙන නිසා, ආර්තවයට යන ලෙය අවුත් අපරාව (වැදෑමස) සෑදීමට කොටසෙක් ද, තව කොටසෙක් ඌර්ධ්වගතව ගොස් පියයුරු දෙකට බැස ගන්නේය. ඒ නිසා ගැබිණිය උස් වූ පිරුණු පියවුරු ඇත්තී වන්නීය.

6. නිතර මුත්‍ර පහ කිරීම - ක්‍රමයෙන් ගර්භය වැඩෙන කල මුත්‍රාශය තදවීම නිසා ප්‍රථම තුන්මස ගැබිණි තොමෝ නිතර නිතර මුත්‍ර කරන්නීය. අවසාන දෙසතිය තුළ ද ගර්භය පහත් වන නිසා නිතර නිතර මුත්‍ර කිරීමට පෙළඹෙන්නීය.

7. යෝනි ලක්ෂණ - ගැබිණියට සවැනි සතියේ සිට යෝනියේ පහත දැක්වෙන ලකුණු ඇති වේ.

I. යෝනියේ ද යෝනි මාර්ගයේ ද ලේ ගමන අධික වීම නිසා කලින් පැවති රක්ත වර්ණයට වඩා කලුවන් (දුඹුරුවන්) පැහැයක් වෙයි. එසේම කලින් තිබුණු උණුසුම් ගතියට වඩා උණුසුම් ගතියක් ඇතිවේ.

II. යෝනි මාර්ගයේ ඇතුලු සිවිය මොලොක් ව රැලි සහිත වෙයි.

III. යෝනි මග බෙලසුල් ගතිය අධික වෙයි. මේ බෙලසුල් ද්‍රව්‍ය වල රෝග ජීවානූන් නැසීමේ ශක්තියක් ඇත්තේය.

IV. යෝනි මග නහර මහත් වීම නිසා ඒවායේ නාඩි ගමණ ද තුන්වන මස සිට දැනේ.

V. අතින් පරීක්ෂා කිරීමේ දී ගැබ්ගෙල වැසී තිබෙන බව හැගෙයි.

8. උදර ලක්ෂණ - ඇතැම් අයගේ උදරයෙහි වසා රොද පැහැදිලිව පෙන්වයි. වස්ති ප්‍රදේශයෙහි කැලැල් ඇතිවේ. ගැබිණින් දැක පුරුදු පරීක්ෂා කිරීමෙහි දක්ෂ අයට උදරය පරීක්ෂා කිරීමෙන් ම ගර්භයක් පිහිටි බව දැනගත හැකිය.

සිව්වන මස සිට සත්වන මස දක්වා ගර්භයෙහි දිය අධික බැවින් දරුවා එහි පාවෙමින් සිටියි. මෙය අත තබා දැනගත හැකිය.

9. දොළදුක - ගැබ් දැරූ සිව්වන මසෙහි නොයෙක් නොයෙක් දේ ගැන ඇලුම් ඇතිවේ. ඒ දොළදුකයි.

10. දරුවාගේ හෘදය වස්තුවේ ශබ්දය - පස්වන මස මැද හෝ අවසානය දක්වා ළදරුවාගේ නාඩි ශබ්දය ඔරලෝසුවක තප්පර කටුවේ ශබ්දය මෙන්, කන තබා ඇසීමෙන් දැන ගත හැකිය.