සෙත්කවි
දේව බැල්ම හා ශාන්තිය ලගා කරවා ගැනීමට සෙත් කවි සාදවා ගැනීමේදී හා කියවීමේදී අනුගමනය කළ යුතු කරුණු
ASTROLOGY
11/12/2025


ඉපැරණි අතීතයේ පටන් සුවහසක් ජනී ජනයා තම ජීවිත ගමනේ මුහුණ දෙන නොයෙකුත් ගැටළුකාරී අවස්ථාවන් විද්වංශනය කරලීම සදහා නොයෙකුත් ක්‍රම උපායන් භාවිතා කලහ.
බෝධි පූජා පැවැත්වීම්, යන්ත්‍ර මන්ත්‍ර, බලි පූජා, තොවිල් පවිල්, දෙවියන්ට භාර හාර වීම්, දෙවියන් උදෙසා සෙත්කවි කියවීම් වැනි කටයුතු එයින් සමහරක් වේ.
සෙත් කවියක් ලියන්නේත් කියවන්නේත් කවරෙකුට හෝ සෙතක් ශාන්තියක් ප්‍රාර්ථනා කරනු පිණිසයි. කිසියම් ලෙඩ රෝගයකට ගොදුරු වූ විට, විවාහය ඉක්මන් කරවා ගැනීමට, විදේශ ගතවීම් ඉක්මන් කරලීමට, විභාගයන්ට මුහුණ දෙන අවස්ථාවල හා නැතහොත් වෙනයම් කරදරයකට අභාග්‍යයකට මුහුණ පා ඇති විට හෝ ග්‍රහ අපල සදහායි.
විශ්වයට අයත් ජීව, අජීව, සියලුම දේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස යන පංච භූතයන්ට අයත්ය යන දාර්ශනික මතයන්ට අයත් සිද්ධාන්තය වේ. බුද්ධ දේශනාව අනුව ද එය එසේමය. එම ශක්තීන් ඉෂ්ට, අනිෂ්ට ලෙස දෙවදෑරුම් වේ. එසේම ශබ්දික භාෂාවන්හි අක්ෂර ද (ශබ්ද) ඉෂ්ට, අනිෂ්ට භූත බලයට යටත්ය. එම අක්ෂරයන්ගෙන් සෑදෙන වචන මෙන්ම එයින් මතු කර ගන්නා ගණ යෝනි ද ඒ අනුව අක්ෂර ගණ පිහිටුවා කරනු ලබන සෙත්කවි ද ඉෂ්ට, අනිෂ්ට විපාකයන් ගෙන දේ.
විශේෂයෙන්ම ගැත්තා විසින් මෙම සෙත් කවිය කියවීම තුලින් තමාට යහපතක්ම සිදුවන බව විශ්වාස කල යුතු අතර පසුව නිසි ආකාරව වත් පිළිවෙත් කොට සෙත් කවිය කියවා ගත යුතුයි.
සෙත් කවිය කියවීමට ආරම්භ කරන දවසේ විශේෂයෙන්ම නැකතට ආරම්භ කල යුතුයි. එම සෙත් කවියම නැවත මාස තුනකින් පමණ කියවන්නේ නම් එවිටද, නැකතට ආරම්භ කල යුතුයි. නැවත කියවීම බොහෝ විට ඒරාෂ්ටක අපල සදහා සිදු කරනු ලබයි.
සෙත් කවියක් ලියවා ගැනීමට පුර පක්ෂයේ දී පැමිණිය යුතු අතර කියවීම ද පුර පක්ෂයේම පමණක් කළ යුතුයි. ( හදිසි අනතුරකදී, හදිසි රෝගාතුර වීමක දී හෝ අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් පුර පක්ෂයේ නොවූවත් සුදුසු වේලාවක් මත සකස් කර ගත හැක. )
සෙත් කවිය කියවන්නා සෙත් කවිය නිවැරදිව උච්චාරණය කළ යුතු අතර අකුරු ගණන අඩු වැඩි නොකොට එකම වචනය දෙවරක් නොකියා ඉතාමත් නිවැරදිව දිනකට 7 වරක් බැගින් දින 7 හෝ දින 3 කියවා ගත යුතුය. සම්මත ක්‍රම වේදය මෙය වුවද, යම් අසාධ්‍ය ලෙඩුන් සම්බන්ධයෙන් හෝ යම් ග්‍රහ අපලයක් හේතුවෙන් ජීවිත අවධානමක් ඇති අවස්ථාවකදී හෝ ග්‍රහයින් බැදීමක දී කියවන වාර ගණන වැඩි විය හැක.
සෙත් කවිය කියවීමට පෙර අංග සම්පූර්ණ වූ බෝධි පූජාවක් තැබිය යුතු අතර දෙවියන් සදහා පිං අනුමෝදන් කිරීම සෙත් කවිය අවසානයේදී සිදු කිරීමට මතක තබා ගත යුතුයි. (අංග සම්පූර්ණ බෝධි පූජාවක් තැබීම සම්බන්ධයෙන් ඉදිරියේදී ලිපියක් පල කරනු ඇත.)
සෙත් කවිය කියවීමට පටන් ගන්නා දිනයේ හා අවසාන දිනයේ කියවීමට අපේක්ෂාකරන දෙවියන් උදෙසා පූජා වට්ටියක් පිරිනැමිය යුතු අතර දෙවියන් වහන්සේලා දෙදෙනෙකුහට කියවනවානම් ඒ සදහා පූජා වට්ටි දෙකක් පිළියෙල කර පූජාකළ යුතුයි.
සෙත් කවිය පිළියෙල කර ලබා ගෙන, එය කියවා ගන්නා තුරු ආතුරයා විසින් හෝ වෙනයම් කෙනෙක් විසින් එය විවෘත කර කියවීමෙන් වැලකීසිටීමට හා දෙවියන් ඉදිරියේදී පමණක් එය විවෘත කිරීමට වගබලා ගන්න.
