Exclusive discounts on astrology services today!

ශිව පුරාණය

බ්‍රහ්ම සහ විෂ්ණු දෙවිදුන්ගේ යුද්ධය නැවතූ ශිව දෙවියන්

GODS

11/12/2025

එක් සමයෙක යෝගීන් අතර ප්‍රමුඛයකු වන විෂ්ණු දෙවියන් ඔහුගේ සේවකයින් ද පිරිවරාගෙන දහස් හිස් ඇති නාග යහන මත වැතිරී හිදියේය. වෛදික විද්වතුන් අතර ප්‍රමුඛයා වන මහා බ්‍රහ්මයන් එහි පැමිණ විෂ්ණු දෙවියන් අමතා සිටියේය. ශ්‍රී විෂ්ණු දෙවියන් එය ගණනකට නොගෙන යහන මත වැතිරී හිදින විට " මාව දර්ශනය වීමෙන් පසුවත් උඩගු පුද්ගලයෙකු සේ යහනේ වැතිර නොසිට ඔබගේ ස්වාමියා දෙස බලන්න යැයි" මහා බ්‍රහ්මයන් කියා සිටියේය.

මෙය ඇසීමෙන් විෂ්ණු දෙවියන් කෝපයට පත් වුවද එම කෝපය නොපෙන්වා සන්සුන් වදනින් යුක්තව මහා බ්‍රහ්මයන් අමතා " ඔබව මාගේ භවනයට සාදරයෙන් පිළිගන්නවා යැයි පවසා ආචාර කොට කරුණාකර මෙම ආසනය මත වැඩ හිදින්න යැයි " කියා යහනක් පැනවීය.

අසුන්ගත වූ මහා බ්‍රහ්මයන් " කාලයේ වේගයෙන් ගමන් කරන්නා වූ මා හට බොහෝ ගෞරව ලැබිය යුතු බවත්, වැඩිමහල්ම පුද්ගලයා තමන් බවත්, ලෝකයේ මෙන්ම ඔබේද ආරක්ෂකයා මම බවත් " කියා සිටියේය.

" මුළු විශ්වයේම පාලනය තමන් සතු වෙද්දී හා වැඩ හිදින්නා වූ නෙළුම් මලෙහි රේණු වලින් ජීවය ලද්දා වූ ඔබ මාගේ පුත්‍රයකු වැනිය. එහෙයින් සොරෙකු මෙන් විශ්වයේ වගකීම තමන් සතු යැයි පවසන්නා වූ වචන නිෂ්ඵල යැයි " විෂ්ණු දෙවියන් කියා සිටියේය.

මෙසේ එකිනෙකා වාද කර ගනිමින්, විශ්වයේ අයිතිය තමන් සතු යැයි පවසමින් වාද විවාද කරන්නට විය. අවසන දෙදෙනාගේ ශක්තිය මැන බැලීමට සටනකට සූදානම් විය.

විෂ්ණු දෙවියන් ගරුඩ වාහනය මත ද, මහා බ්‍රහ්මයන් හංසයා මතට ද නැගී යුධ කරන්නට පටන් ගත්හ. ඒ අනුව විෂ්ණු සහ බ්‍රහ්ම දෙවිවරුන්ගේ සේවකයෝ ද ගැටුමට පැමිණියහ. මෙම සටන දැක බලා ගැනීමට විවිධ වූ දේව කණ්ඩායම් තම තමන්ගේ යාත්‍රා වල නැගී එම ස්ථානයට පැමිණෙන්නට වූහ. ගරුඩ වාහනය මත වැඩ සිටින විෂ්ණු දෙවියන් ඊතල සහ නොයෙකුත් ආයුධ වලින් මහා බ්‍රහ්මයන්ට පහර දෙන්නට විය. කෝපයට පත් මහා බ්‍රහ්මයන් ද විෂ්ණු දෙවියන් හට ඊතල වලින් සහ විවිධ ආයුධ වලින් පහර දෙන්නට විය. විෂ්ණු දෙවියන්ගේ මහේෂ්වර ආයුධය සමග බ්‍රහ්මයන්ගේ පසුපත ආයුධය එකිනෙක ගැටීමෙන් ඇති වූයේ මහත් වූ ආලෝකයකි. ඉන් විශ්මයට පත් අනෙකුත් දෙවියන්, මෙම සටන නැවැත්වීමට හැක්කේ කාටදැයි සිතමින් ශිව දෙවියන් සොයා කෛලාශකූට පර්වතය වෙත ගියහ.

පූජාසනය මත සමාධි සුවයෙන් වැඩ හිදි ශිව දෙවියන් දැක නමස්කාර කල දෙවියන්, ශිව දෙවියන් හට ප්‍රශංසා කරමින් කියා සිටියේ වෙන්නට යන විනාශයෙන් ලෝකය මුදවා ගන්නා ලෙසයි. දෙවියන්ගේ ඉල්ලීම පැහැර හැරීමට නොහැකි වූ ශිව දෙවියන්, පාර්වතී දේවිය, ගනේශ, ඉන්ද්‍ර සහ අනෙකුත් පරිවාර දේව කොට්ටාශ ද, සේවක හමුදාවද රැගෙන යුධ පිටියට ගියහ.

යුධ පිටියට පිවිසි ශිව දෙවියන් එක් වරම නොපෙනී යන්නට වූ අතර එකෙණෙහිම යුධ පිටිය සිසාරා මහත් වූ ගිනි ජාලාවක් මැවෙන්නට විය. යුධ කරමින් සිටි බ්‍රහ්ම සහ විෂ්ණු දෙවියන් යුධ වැදීම මදකට නතර කරමින් මෙම ගින්න ඇති වීමට හේතු වූයේ කුමක්දැයි සොයා බලන්නට විය. ගිනි ජාලාවේ ඉමක් කොනක් නොතිබෙන්නට වූ බැවින් බ්‍රහ්ම දෙවියන්ට හෝ විෂ්ණු දෙවියන්ට එය තනිව සිදු කල නොහැක්කක් විය. එසේ හෙයින් මෙතෙක් යුධ වදිමින් සිටි එම දෙපළ එකට එකතු වී පැතිරෙන ගින්නෙහි අග මුල සොයන්නට තීරණය කළහ.

විෂ්ණු දෙවිදුන් වරාහ ස්වරූපය ධාරණය කර ගනිමින් ගින්නෙහි ආරම්භය සොයන්නට පහලට ගියේය. බ්‍රහ්ම දෙවියන් හංස වෙස් ගෙන ගින්නෙහි අවසානය සොයනු වස් ඉහල අහසට ඇදෙන්නට විය. කොපමණ පහලට ගියද ගින්නෙහි ආරම්භයක් සෙවීමට නොහැකි වූ විෂ්ණු දෙවියන් නැවත යුධ වැදි ස්ථානය කරා පැමිණෙන්නට විය. ඉහළ අහසට පිවිසි බ්‍රහ්ම දෙවියන්ට ද ගින්නෙහි අවසානයක් නොපෙනෙන්නට වූ අතර ගින්නෙහි අග මුල සෙවීමට මොවුන් දක්වන්නා වූ වෙහෙස දුටු ශිව දෙවියන් හට සිනහ පහල වන්නට විය. සිනහ පහල වීමේදී ශිව දෙවියන් විසින් හිස ගවසා සිටි කේතකී මලක් ඉහල අහසේ සිට පහළට කඩා හැලෙන්නට විය.

කඩාවැටෙන කේතකී මල දුටු බ්‍රහ්ම දෙවියන් මෙය සාමාන්‍ය මලක් නොවන බව තේරුම් ගත් අතර මල අමතා " ඔබ පැලද සිටියේ කවුරුන් විසින් ද යන බවත්, පහලට කඩා වැටෙන්නේ කවරක් නිසා වෙන්ද යන බවත් " අසා සිටියේය.

" ඔබලාට සහය පිණිස මම ඉහල සිට පහළට කඩා හැලුන බවත් යළි යුධ පිටියට ගොස් විෂ්ණු දෙවියන් මුණ ගැසී ඔබ විසින් ගින්නෙහි ඉහල කෙළවර සොයාගත් බවත් මේ කේතකී මල එයට සාක්ෂියක් බවත් විෂ්ණු දෙවියන්ට පවසන ලෙස " කේතකී මල කියා සිටියේය. ඉන් මහත් සතුටට පත් බ්‍රහ්ම දෙවියන් වහා යුධ පිටියට ගොස් විෂ්ණු දෙවියන් ඉදිරියේ ගයමින්, රගමින් සිනහ පහල කරන්නට විය.

බ්‍රහ්ම දෙවියන් සතුටින් ඉපිලෙන්නට හේතු වූ කාරණය සිතා ගැනීමට නොහැකි වූ විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයන් අමතා කියා සිටියේ තමන් හට ගින්නෙහි ආරම්භය සොයා ගැනීමට නොහැකි වූ බවය. එවිට බ්‍රහ්ම දෙවියන් කියා සිටියේ " තමන්ට ගින්නෙහි අවසානය සොයා ගැනීමට හැකි වූ බවත් මේ කේතකී මල ඊට සාක්ෂියක් බවත්ය. " කේතකී මල ද බ්‍රහ්ම දෙවියන්ගේ ඒ ප්‍රකාශය සනාථ කළේය. මෙය සත්‍ය යැයි සිතූ විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයන් හට විවිධ වූ ආචාර විධි දක්වමින් නමස්කාර කරන්නට විය.

අවසානයෙහි ගිනි දැල් නිවා දමමින් ශිව දෙවියන් ඉන් පිටතට පැමිණෙන්නට වූ අතර ශිව දෙවියන් දුටු බ්‍රහ්ම සහ විෂ්ණු දෙවියන් ශිව දෙවියන් හට නමස්කාර කරන්නට විය. ආරම්භයක් හෝ අවසානයක් නොමැති ඔබ දර්ශනය වීමෙන් අප විසින් සිදු කරන ලද අණුවන ක්‍රියාව තේරුම් ගිය බවත් ඒ වෙනුවෙන් අප හට සමාවන ලෙසත් ශිව දෙවියන් ඉදිරියේ ඔවුන් විසින් කියා සිටින්නට වූහ.

එවිට විෂ්ණු දෙවියන් ඇමතූ ශිව දෙවියන් කියා සිටියේ, " යුධ ජයග්‍රහණය පිළිබදව පැවති ආශාව නොතකා සත්‍ය වචන ප්‍රකාශ කලා වූ ඔබ සැබැවින්ම මා හා සමාන වන්නේය. එබැවින් භක්තිකයන් අතර මට මෙන්ම ඔබට ද ඇත්තේ එක හා සමාන වූ ගෞරවයකි. "

රැස්ව සිටි අනෙකුත් සියලු දෙවියෝ ද හිස නමා අචාර කරමින් ශිව දෙවියන්ගේ එම ප්‍රකාශය සනාථ කරන්නට වූහ.

මතු සම්බන්ධයි....

ශිව පුරාණය (පළමුවන කාණ්ඩය - 6 සහ 7 පරිච්ඡේද)

මීලග කොටස : - (මහා බ්‍රහ්මයන් හට සමාව ලබා දුන් ශිව දෙවියෝ.)

ලිපි සැකැස්ම....

කේ. ඩී‍‍. නිරෝසී ප්‍රභාෂිණී

සෙත්කවි ශාස්ත්‍ර විශාරද

ජ්‍යොතිෂ ශිරෝමනී උපාධිදාරී, ජ්‍යොතිෂ ප්‍රභාෂ්වර

ජ්‍යොතිෂ ජගිත්‍රී ජාත්‍යන්තර, ජ්‍යොතිෂ භාෂ්කර් ඉන්දීය

මුළු දිවයිනටම සාම විනිසුරු